හෙළ ජන ගී...

ශ්‍රී ලංකාවේ ජන ගී හා ජන කවි පැවත එන්නේ දුරාතීතයේ පටන්ය. ඇරඹුනේ කවදාද..නිමැවුනේ කවුරුන් විසින්ද යන්න කොතැනක හෝ සටහන්ව නැතත් අප ආදි හෙළයන් තම වෙහෙස හා කාන්සිය නිවා ගන්නට ගැයූ කවි අද ජන කවි බවට පත්ව තිබේ.හෙළයාගේ ප්‍රධාන ජීවනෝපාය වන ගොවිතැනට සම්බන්ධ වූ ජන කවි රැසකි. පැළ නෙලුමට නෙළුම් කවි ගැයූ ඔවුහු කරල් කපන දා ගොයම් කවි ගැයූහ.හේන් ගොවිතැනේ දී කුරහන් කවිද, පැලේ  රාත්‍රිය ගෙවූ පාලුව නසන්නට පැල් කවිද ගැයූහ.ගැල් පුරවාගෙන ගමින් ගමට යන ගමනේදී රාත්‍රිය ගෙවුනේ කරත්ත කවි ගයමිනි. දිය පහර දිගේ පාරුව පදිද්දී ඔවුනගේ මුවින් ගැයුනු කවි පද වැල් අද පාරු කවි ලෙස අපි ගයන්නෙමු.මිනිරන් පතලේ හෙළන සුසුම වේදනාව පිරුනු පතල් කවිය ඇසෙද්දී අදද අප දෑසට කදුලු බිදු මතු කරයි.මවකගේ මුවින් ගැයෙන දරු නැළවිලි ගීයක රිද්මය කුඩා පුතු නිදි ලොවට කැදවා යයි.මේ සියල්ල අපටම උරුම වූ අපේ ජන කවියේ අභිමානයයි.
ජනගී බිහිවූයේද,ගැයුනේදඅප ශ්‍රී ලාංකික සමාජයේ සංස්කෘතික අංගයක් ලෙසිනි.එහි පදවැල් හා තනුව නිමැවීතිබුනේ හැගීම්බර වූ අයුරකිනි.අපේ පැරණි මුතුන් මිත්තෝ ඔවුනගේ වෙහෙස, වේදනාව, පාලුව අන් අය වෙත ගෙන හැර පෑවේ ජන ගීයක්, ජන කවියක් ගයමිනි.
තවත් සම්ප්‍රදායික ජන ගී විශේෂයක් වූයේ විරිදු වයි. කුඩා අත් රබානක් වයමින්, එහි රිද්මයට අනුව ගැයෙන විරිදුව කවියකට වඩා දික්වූ පණිවුඩයක් , කතාන්දරයක් අන් අය වෙත සන්නිවේදනය කරන්නට සමත් විය. විටෙක විරිදු කරුවන් දෙදෙනෙකුගේ දස්කම් පෙන්වන විරිදු වාදනයක රස විදින්නට ද ගැමියාට අවස්ථාව ලැබින. එකිනෙකා පරයා තම මතය ජයගන්වන්නට විවිධ වාග් චාතූර්යයන් යොදමින් විරිදුකරු තරග වදිනු දැකිය හැකි විය. ඇරඹුනු දා පටන් පරපුරෙන් පරපුරට මුවින් මුව පැවතෙමින් ආ ජන ගී හා ජන කවිය අද කෙමෙන් කෙමෙන් භාවිතයෙන් ඈත්ව යන්නක් බවට පත්වී ඇත.

හෙළ කාන්තාවන්ටම පමණක් වෙන්වූ ඔන්චිලි වාරම් ඇසෙන්නේ සිංහල අළුත් අවුරුදු සමය උදාවත් සමගය. බොහෝවිට ජනගී, ජන කවි ගයද්දී වාද්‍ය භාණ්ඩ උපයෝගී කර ගත්තද, වාදන නොමැති ජන කවියක රසය විදින්නට හැකි වන්නේ ද සිංහල අවුරුදු උත්සවයක ජනගී තරග පැවැත්වෙන විටෙක වීම ද විශේෂත්වයකි. වසර 450 ක් පමණ විදේශ ජාතිකයන්ගේ යටත් වැසියන් ලෙස ජීවත් වන්නට සිදුවීම ද , අප සංස්කෘතික උරුමයක් වූ ජන කවිය අප සමාජයෙන් ඈත් කරන්නට හේතුවක් විය. කෙසේ වෙතත් ජන කවිය හා ජන ගීය සමාජයෙන් ඈත්ව මියයමින් තිබෙන සංස්කෘතික අංගයක් බවට පත්ව තිබීම ඛේදවාචකයකි.

මෙම වෙබ් අඩවිය නිර්මාණය කිරීමේ මූලික අරමුණ වූයේ මෙසේ නැතිවී යන අප රසවත් සංස්කෘතික උරුමයක් වන ජනගී හඩ අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කිරීමයි. මූලික සොයාබැලීම් වලදී අන්තර්ජාලය තුළ ඇති හෙළ ජනගී වෙබ් අඩවි පරීක්ෂා කළෙමි. අවාසනාවක මහත, ඒ එකදු වෙබ් අඩවියක වත් සංගීත භාණ්ඩ වලින් රසවත් නොවුනු අප ගැමියනගේ කටහඩින් ගැයුනු එකදු ජනකවියක් වත් සොයා ගැනීමට නුපුළුවන් විය. එක තැනක වේදිකා සංදර්ශන වලදී කළ පටිගත කිරීම්ය. තවත් තැනෙක ‍ඝෝෂාකාරී බාහිර ශබ්ද මැද පටිගත වූ හඩ පටය. එසේ නොමැනම් එතෙරක අවුරුදු උළෙලක කුඩා දරුවකුගේ ජන ගීයකි. ජන ගීයක නිසි රසය විදගත හැක්කේ එය වැඩිහිටි ‍ගැමියෙකුගේ හඩින්, එසේම සංගීත වාදන මුසු නොවී එහි මුල් තනුවෙන්ම ගැයෙන විටය. මෙම කණගාටුදායක අඩුව දුටු විට අනාගත පරපුර වෙනුවෙන් එම අඩුව මකන්නට මම තීරණය කළෙමි.

විවිධ ප්‍රදේශ වල පැරැන්නන් හමුවූයෙමි. ඔවුන් සමග කතා බහ කළෙමි. ඔවුනගේ හඩ පටිගත කර ගතිමි. පත පොත සොයා බැලීමි. ජන ගී හා ජනකවි ගැන තොරතුරු සොයා ගියෙමි. ජනගී විශාරද ගායිකාවකගේ සහය ද ලබා ගතිමි. මේ සියල්ල එකතු කරගත් පසු ඒවා අන්තර්ජාලය තුළ තැන්පත් කරන්නට මගක් සෙවූයෙමි. ශ්‍රී ලාංකික පිරුළු පිළිබදව මා නිර්මාණය කළ වෙබ් අඩවිය වෙනුවෙන් උපයෝගී කරගත් තාක්ෂණිය උපක්‍රම සිහිපත් විය. සුපුරුදු පරිදි නොමිලේම ලබාගත හැකි බ්ලොගයක් නිර්මාණය කොට එහි ‍තොරතුරු රිංගවා, සියලු හඩපට යූටියුබ් අවකාශයට මුදා හැරියෙමි.  අනන්ත වූ අන්තර්ජාලය තුළ පැරණි හෙළයන්ගේ හඩින් පමණක් පටිගත කළ හෙළ ජනගී හා ජන කවි අඩංගු එකම වෙබ් අඩවිය ලෙස , හෙළ ජනගී වෙබ් අඩවිය සදා රැදෙනු ඇත. මගේ උත්සාහය අප සමාජයෙන් ඈත්ව, මියයමින් තිබෙන මෙවැනි අපේ සංස්කෘතික උරුමයන් අනාගත පරපුර වෙනුවෙන් රැකදීමයි.

හෙළ ජන ගී බිහිවූ අයුරුත්, ඒවා එදා පටන් අද දක්වා පවත්වාගෙන ඒමේදී ඇතිවූ වෙනස් කම්ද විස්තර කරමින්, හෙළ ජන ගී ගායනා කළ යුතු නිසි ස්වර, තාල යනාදිය ශාස්ත්‍රීය ලෙස විස්තර කෙරෙන අපූරු සාකච්ඡාවකි මෙය. ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍ය ජනගී ගායිකාවක වන දිමිත්‍රා රත්නායක මහත්මිය හෙළ ජන ගී වෙබ් අඩවිය වෙනුවෙන්ම මෙම සාකච්ඡාවට සහභාගි විය. ඇය ජන ගී මෙන්ම, විරිදු,නූර්ති ගී ගායිකාවක ලෙස ද සරල ගී ගායිකාවක ලෙසින් ද ප්‍රකටය.